Monday, December 29, 2014


අන්තර්ජාලය හා පාසල් අධ්‍යාපනය


                        ගතවන සෑම මොහොතකම යමක් සිදුවේ. එහි අවසානය නම් අලුත් නිමැවුමක් ලෝකයට එකතුවීමයි. මේ නිමැවුම් කුමන දෙයක්  වුවත් එය නිර්මාණය වීම සිදුවන්නේ අපගේ වැඩිහිටි පරම්පරාව වෙනුවෙනි. රටේ අනාගතය වන ළමා පරපුර වෙනුවෙන් කෙරෙන නිර්මාණ ඉතාම අල්පය.
                        තොරතුරු තාක්ෂණයේ සුපිරි මාවත ලෙසින් Internet අද වනවිට බොහෝ දෙනාගේ ප්‍රධානතම තොරතුරු සොයාගැනීමේ මාධ්‍ය වී ඇත. Web page බිලියන ගණනකින් සමන්විත Internet මාධ්‍යයේ සැරිසරන්නෙකුට මොහොතින් තමන්ට අවශ්‍ය ඕනෑම කරුණක් සම්බන්ධයෙන්  තොරතුරු සොයාගැනීමේ අවස්ථාව තිබේ. නමුත් පාසල් ළමුන් සදහා සැකසුණු Web page නම් දැකිය හැක්කේ අතළොස්සකි. නමුත් රූපවාහිනි මාධ්‍ය Internet වලට සාපේක්ෂව වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ළමුන් සදහා වෙන්කර තිබේ. නමුත් දෙමාපියන් ඊට විරුද්ධත්වයක් දක්වති. ළමුන් රූපවාහිනියට ඇබ්බැහිවීම එයට මූලික හේතුවයි. මේ තත්ත්වය වෙනස්කර පාසල් ළමුන් අධ්‍යාපනික අතින් මෙන්ම විනෝදාස්වාදාත්මක හා නිර්මාණශීලී දිශාවනට යොමු කිරීමට පරිගණකවලට හැකියාව තිබේ. මේ සම්බන්ධව අවධානය යොමුකරන අධ්‍යාපන විශේෂඥයන් බොහෝ දෙනාගේ මතය නම් Internet හා සම්බන්ධ වගකිව යුතු ආයතන‍,  අධ්‍යාපන බලධාරීන්, වෙළද සමාගම් ආදී මේ සියල්ලන්ම මීට වඩා අවධානයක්  Internet  මාධ්‍ය තුළින් ළමා පරපුර වෙත යොමු කළයුතු බවයි.


                        මේ සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපද විශේෂඥයන් පවසන්නේ ඉන්ටර්නෙට් ඔස්සේ විෂයමාලා සහ ඒ සම්බන්ධ කරුණු ළමුන් සදහා ඉදිරිපත් කළයුතු බවයි. නමුත් ඉන්දියානුවන් පවසන්නේ ළමයින් විෂය කරුණු  ඉන්ටර්නෙට් ඔස්සේ ඒ ලෙසින්ම දැකගැනීමට අකමැති නිසා ළමා මනසට උචිත වන විෂය බාහිර දේද ඉන්ටර්නෙට් තුළින් ළමා පරපුරට දියයුතු බවයි.කෙසේ හෝ ළමා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී අතිශය සැලකිලිමත් විය යුතුබව අවිවාදයෙන් පිළිගෙන තිබේ. මේ නිසා කිසියම් සමිගමක් හෝ ආයතනයක් ළමුන් සදහා වෙබ් අඩවි නිර්මාණය කරන්නේ නම් එම වෙබ් අඩවි තුළට ඇතුළත් ව්ය යුත්තේ මොනවාද? ඒවා ළමා මනසට උචිතද යන්න පිළිබද ඉතා සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් ප්‍රථමයෙන් කළයුතු වේ.
                        අන්තර්ජාලය නම් ලෝකය පුරා පැතිරුණු ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලයයි. පෙර කාලයේදී විශ්වවිද්‍යාල තුළදී පමණක් හැදෑරීමට ලැබුණු මෙම තොරතුරු හා සන්නිවේදන පාඨමාලා නූතනයේ 6 ශ්‍රේණියේ සිටම පාසල් සිසුන්ට ලබා දී ඇත. අ.පො.ස සාමාන්‍ය පෙළ විෂය මාලාවේ සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සිට මෘදුකාංග තාක්ෂණය, පරිගණක රූපක නිර්මාණකරණය වැනි පුළුල් විෂය පරාසයක ව්‍යාප්තව ඇත. එමෙන්ම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණය විෂය හදුන්වා දී හමාරය.
                        මෙතෙක් පන්ති කාමරයට පමණක් සීමාවී තිබූ පාසල් අධ්‍යාපනය අද පරිගණක හා අන්තර්ජාලය නිසා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් සිදුයී ඇත. මෙහිදී සාම්ප්‍රදායික පන්ති කාමරයේදී සිදුවන කාල සටහනකට අනුව පාඩම් තීරණය වීම, දැනුම සීමා වීම, අමතර කරුණු සොයා ගැනීමට ඇති දුෂ්කරතාවය මගහැරී නවමු ඵලදායී අධ්‍යාපන රටාවක් මෙම අන්තර්ජාලය තුළින් බිහිවී ඇත.

                        මේ හේතුවෙන් පරිගණකය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැදගත්ම උපකරණයක් වී හමාරය. කලින් සකස් කරන ලද අධ්‍යාපනික වැඩසටහන් නැවත නැවතත් පන්ති කාමරය තුළ භාවිතයට ගත හැකි වීමත්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතික අධ්‍යාපනය දක්වා භාවිත වන බොහෝ විෂය ධාරාවන් අද පරිගණක ගතකර තිබීමත්, එම අධ්‍යාපන වැඩසටහන් වැඩි අපහසුවකින් තොරව නැවත ලබා ගතහැකි වීමත්, විශේෂයෙන් මෙවැනි වැඩසටහන් Multi Media Technology ආශ්‍රයෙන් පහසුවෙන් භාවිත කළ හැකි වීමත් විශේෂත්වයන් වේ.   
                        පාසල් මෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු වඩාත් ඵලදායී ලෙස සහ කාර්යක්ෂම අයුරින් සිදුකර ගැනීම සදහා අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන  පහසුකම් පුළුල් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු කර ඇත.
                        පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉගෙනුම් මෙහෙයුම් පද්ධති රැසක් මේ වන විට ක්‍රියාත්මක වේ. අ.පො.ස උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයයන් දමිළ බසින් හදාරණ ශිෂ්‍ය ප්‍රජාවට එම විෂය ධාරාවන් හැදෑරීම පහසිවන අන්දමින් www.e-Patashala.lk වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.
                        පාසල් පන්ති කාමරයේ ගුරුවරයෙකු අභිමුඛව ඉගෙන ගන්නා ආකාරයෙන් ඉතා සජීවී ලෙස මෙම ඉගෙනුම් මෙහෙයුම් පද්ධතිවල අන්තර්ගතයන් සකස්කර තිබිම විශේෂත්වයක් බව පෙන්වාදෙන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට WWW.learnenglish.lk,   අ.පො.ස උසස් පෙළ විද්‍යා සහ ගණිත ඉගැනුම් ද්වාරය WWW.vidunena.lk, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම WWW.skoool.lk, සිංහල හා දෙමළ  භාෂා පහසුවෙන් ඉගෙන ගැනීමට WWW.bashaguru.lk, වෛද්‍ය විද්‍යාත්මක දැනුම සිංහල හා දමිළ භාෂාවෙන් WWW.wedananasala.org, පළමු ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන දැනුම ලබා ගැනීමට www.e-thaksalawa.moe.gov.lk, පාසල් පොත් නොමිලේ ලබා ගැනීමට www.edupub.gov.lk ආදී වෙබ් අඩවි නිර්මාණය කර තිබේ.
                        Internet තාක්ෂණය හේතුවෙන් පන්ති කාමරය තුළ සිසුන් හා ගුරුවරුන් අතර පැවති සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලිය පසුකාලීනව Distance Education (දූරස්ථ අධ්‍යාපනය) දක්වා දියුණු විය. මෙහිදී ගුරුවරයාට උපදෙස් ලබාදීමත් සිසුවාට පහසු ස්ථානයක සිට එම උපදෙස් ලබා ගැනීමත් සිදු කළ හැක. ඔවුන් මුණගැසීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග ඇති වූ ඉතා ජනප්‍රිය දූරස්ථ අධ්‍යාපන ක්‍රමයයි.
                        නමුත් පාසල් දරුවා නම් කුතුහලය පිරි අයෙකි. ඔවුන්හට අත්හදා බැලීම්, තොරතුරු සෙවීම් ආදියට බෙහෙවින්ම ඇලුම් කරන්නෙකි. ඒ නිසා සමාගම් වෙතින් ඔවුන් උදෙසා වෙබ් අඩවි නිර්මාණය කිරීම සීමා සහිත වුවත් ළමුන්ගේ කුතුහලය නතර නොවේ. ඒ අනුව ඔවුන් සමාජීය වෙබ් අඩවි තුළට පිවිසීම ඉබේම සිදු වෙයි. මේ තුළින් ඒවාට අබ්බැහි වීම, ඒවායින් සිදුවන ජීවිත හානි ආදිය අද නිරතුරුවම අසන්නට ලැබේ. Face book, Skype  ආදිය තුළින් ගැහැනු පිරිමි භේදයකින් තොරව පාසල් ළමුන් අබ්බැහි වීමත්, ඒවායින් සිදුවන ඛේදවාචකයත් කිව යුතු නැත. මේ අනුව දරුවාගේ අධ්‍යාපනය කඩා වැටීම, ජීවිත විනාශ වීම මෙන්ම ජීවිත අහිමි වීම යන තත්වයන්ට මේ අන්තර්ජාලය පාසල් අධ්‍යාපනය බලපෑම් කර ඇත.


                        මේ නිසා දෙමාපියන් තම දරුවා නූතන තාක්ෂණය හා සම්බන්ධ කරන විට දෙපාරක් සිතීමට අමතක නොකරති. වර්තමානයේ අධ්‍යාපනය, ඇතැම් සංස්කෘතීන් ආදී සියල්ල අන්තර්ජාලය හා බැදී පවතී. නමුත් මෙම අන්තර්ජාලය ඔස්සේ සිදුවන වැරදි නිසා එයින් ඉවත් වීම කිසිවෙකුටවත් කළ නොහැකි දෙයකි. මන්ද යත්   ප්‍රධාන වශයෙන් අපේ සන්න්වේදන කුසලතාවත්, මාධ්‍ය සාක්ෂරතාවත් වර්ධනය විය යුතු බැවිනි.
                        අන්තර්ජාලය නිසා පාසල් අධ්‍යාපනය තුළ යහපත් දේ මෙන්ම අයහපත් දෙයද සිදු වුවද එය භාවිත කළ යුතු ආකාරය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්. සිසිර අතපත්තු මහතා පවසා සිටියේ මෙසේය.
                        රත්තරන්වලින් පංචායුධයක් සාදා ළදරුවන්ට රැකවරණය දීමට පුළුවන් මෙන්ම රත්තරන් වලින්ම සෑදූ බදුනකට විෂ දැමීමටද පුළුවනි. රත්තරන් කවුද සෑදීමට පුළුවන් සමාජ මාධ්‍යයන් මේ වගේය. නූතන තාක්ෂණය භාවිතයෙන් දරුවාගේ යහපත් අරමුණු සාක්ෂාත් කර ගත හැකිය. ඒ සදහා හොද අවබෝධයකින් තෝරා බේරා ගෙන අන්තර්ජාලයේ අතරමං නොවී භාවිත කළ යුතුයි.  


පරිශීලන ග්‍රන්ථ
    විජය පරිගණක, 2004 ඔක්තෝබර් කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඩීස්, මීරිගම, 20-21 පිටු.         
    විජය පරිගණක, 2001 ඔක්තෝබර් කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඩීස්, මීරිගම, 46-47 පිටු.         
    විජය පරිගණක, 2002 මාර්තු කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඩීස්, මීරිගම, 41 පිටු.
    Si.wikipedia.org/wiki/අන්තර්ජාලය



කේ.එම්.දිනූෂා සදමාලි වීරසිංහ

AR/65228

6 comments: